මගේ නම ඉෂානි ඩයස්. මම දැනට කැන්සාස් ස්ටේට් විශ්වවිද්‍යාලයේ (Kansas State University, USA) සිවිල් ඉංජිනේරු අංශයෙන්, ප්‍රවාහන ඉංජිනේරු අංශයට විශේෂිතව ආචාර්ය උපාධිය (Ph.D.) හදාරනවා. උපාධිය අවසානයට මාස කීපයක් තියෙද්දී, ආපු ගමන් මග ගැන මොහොතක් හැරිල බලලා මෙහෙම ලියන්නට හිතුණා. සාමාන්‍ය පෙළ (GCE O/L) විශිෂ්ට සම්මාන (D) 10ක් අරගෙන ගණිත අංශයෙන් උසස් පෙළට (GCE A/L) පිවිසුනේ, ගණිතයට ඇති ආසාව වගේම මට ගණිතය පුළුවන්ය කියන හැඟිම නිසා. ඒ සිතුවිල්ලේ හොඳ හා නරක ප්‍රතිඵල පසුව ලියලා ඇති. මම ඉගෙනගත් සුජාතා බාලිකා විද්‍යාලයේ ඒ ඒ විෂයන් ඉගැන්වූ ගුරු තුමන්/තුමියන්ගේ හැකියාවන් සහ පරිශ්‍රමයන් අදටත් අගයන ගමන්ම, අතිරේක පංති වලින් ලැබූ දැනුම සහ හුරුව ගැන කතා නොකර බැහැ.
ව්‍යවහාරික ගණිතය මට ඉගැන්වූ ජනක අබේවර්ධන ගුරුතුමන් ගැන, එහෙමත් නැත්නම් අපි කාටත් හුරු ඇමතුමෙන්, "ජනක sir" ගැන මම අද ලියන්නට හිතුවා. ජනක sir කියන්නේ හුදෙක් අතිරේක පංති ගුරුවරයෙක් නොවෙන බව ඔහුව දන්නා කවුරුත් එකඟවන කරුණක්. ඔහුගේ උපදෙස් ව්‍යවහාරික ගණිතයට පමණක් නොව, අනිකුත් විෂයන් හැදෑරීමටත්, සාමාන්‍ය ජීවිතයටත් ලොකු උදව්වක් වෙනවා. අලුත් ටියුට් එකක් අතට ලැබුණු ගමන්ම එහි තිබෙන ගණිත ගැටළු විසඳීමට කලින්, අන්තිම පිටුවට පෙරළලා Sir ගේ නිසඳස මුලින්ම කියෙව්වේ ඒ නිසාවෙන්ම වෙන්නට ඇති.
නිදන කාමරයේ බිත්ති වල වගේම නාන කාමරයේ බිත්ති වල පවා ගණිත සමීකරණ ලියල කට පාඩම් කරගත්තා වගේම, sir ගේ නිසඳස් ලියන්නට වෙනම බිත්තියක් අපේ ගෙදර තිබුණා. මෙය මගේ පාසල් මිතුරියන් වගේම, නිවසට ආ විශ්ව විද්‍යාල මිතුරු/ මිතුරියන් පවා දන්නා කරුණක්. මෙහෙම බිත්ති වල කුරුටු ගාද්දී මුවඟ හිනාවක් එක්ක නිහඬ උන අම්මාවත් අද අපි අතරේ නැති, මගේ ආදරණීය තාත්තවත් ණයගැති සිතින් මතක් කරන්න කැමතියි. නිතර ඇහෙන දකින දේට අපේ ජීවිත වෙනස් කරන්නට තරම් හැකියාවක් ඇති බව, පුංචි කාලේ ඉඳල දන්නා ජාතක කතා වලින් ඔබ්බට, මම මෑතකදී ඉගෙනගත් නායකත්ව අඩිතාලම් (Foundations of Leadership) විෂයේදී පවා ඉගෙනගත්තා. ඒ නිසා ජනක sir පංතියේදි උගන්වන උපදෙස් නොපැකිළ විශ්වාස කරන්න කියල මට ඔයාලට කියන්න පුළුවන්. මතක නැති වීමේ සම්භාවිතාව වැඩි සමීකරණ මෙහෙම නිතර ඇස ගැටෙන තැන් වල ලිව්වා වගේම, මට අපහසු ගණිත ක්‍රම, නිතර නිතර භාවිතා කිරීමෙන් සහ වැඩි ගැටළු සංඛ්‍යාවක් විසඳීමෙන් මගේ හැකියාවන් මම දියුණු කරගත්තා. දවසකට භාවිතා කරන කටු වැඩ කොළ ප්‍රමාණය වැඩි කරගන්න කියල ජනක sir උගන්වපු පාඩම, කල් ඉකුත් නොවෙන උපදෙසක් කියල මම හිතනවා.
දැක්ම සඟරාවේ ලිපි ලියන බොහොමයක් නංගිලා මල්ලිලා වගේ මම A-3ක් ගත් කෙනෙක් වත් දිස්ත්‍රික් පළමුවැන්නා වුන කෙනෙක් වත් නෙවෙයි. පළමුවර (2003) B-2ක් සහ C එකක් ලබා කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධි පාඨමාලාවට සුදුසු කම් ලැබුණු අතර එය ප්‍රතික්ෂේප කර දෙවැනි වරටද (2004) උසස් පෙළට පෙනීසිටීමෙන් පසු, A-2ක් සහ B-1ක් ලබා මොරටුව ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබන්නට මා සමත්වුණා. ගණිතය පුළුවන් යයි සිතා ඒ සඳහා අඩුවෙන් කාලය වැය කිරීමේ නරක ප්‍රතිඵලයක් විදියට දෙවරදීම ගණිතයට B සාමාර්ථයක් පමණයි මට ලැබුණේ. ඒනිසා මම හිතන්නේ, උසස් පෙළ හැදෑරීමේදී සමභරව කාලය වෙන් කරගැනීම වැදගත් කියලා. මොරටුව ඉංජිනේරු උපාධිය (B.Sc. Hons. in Engineering) අවසන් කිරීමෙන් පසු තවදුරටත් එහි රැඳී, 2012 වර්ෂයේදී මම සිවිල් ඉන්ජිනේරු අංශයෙන් පශ්චාත් උපාධියක් (M.Sc. in Civil Engineering) අවසන් කළා. ඉන් අනතුරුව, ශ්‍රීමත් කොතළාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වර්ශාර්ධයක් භාහිර කථිකාචාර්යවරියක ලෙස විෂයන් තුනක් ඉගැන්වීමට ලැබුණා. සිවිල් ඉංජිනේරු සහ සැපයුම් කළමණාකරන (Logistic Management) ශිෂ්‍ය භටයන්ට (cadets) මා එහිදී ඉගැන්වීම් කළා. ඉන් පසුව ආචාර්ය උපාධිය හැදෑරීමට අමෙරිකාවට පැමිණි මට මෙම වසර අවසානයේ ඉගෙනුම් කටයුතු අවසන් කිරීමට බොහෝ දුරට හැකිවනු ඇති. සිසු/ සිසුවියන් සිය ගණනක් සිටින පංතියක පවා, එක එක කෙනා ගැන ජනක sir දැක්වූ අවදානය, කථිකාචාර්යවරියක් වශයෙන් සේවය කරද්දී මම මට ආදේශ කරගන්නට උත්සාහ කළා. එසේ තනි තනි වශයෙන් ලැබෙන අවදානය, ඔවුන්ගේ සාර්ථකත්වයට වාගේම, ඉගෙනීමට ඇති උනන්දුවට පිබිදීමක් ඇති කරන බව මම අත්දැකීමෙන් දන්නා දෙයක්.
මිල මුදලින් පොහොසත් නොවුන පවුලක උපන් මා, දෙවන වරටත් උසස් පෙළ හැදෑරීම මගේ දෙමව්පියන්ට වියදම් අතින් ලෙහෙසි කටයුත්තක් උනේ නැහැ. මාත් මගේ බාල සොහොයුරියත් දෙදෙනාට අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යාමට ඔවුන් සතු සියලු ඉතුරුම් දිය කරමිනුයි තිබුනේ. මාත් නංගීත් එහි ප්‍රයෝජන හැකි උපරිමයෙන් ගත් බවත් කියන්නට ඕනේ. නංගී, එරන්දි ඩයස්, මෙම වසර මුළදී රජරට විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික විද්‍යා උපාධිය සාර්ථකව අවසන් කළා. දෙවැනිවර උසස් පෙළ අවසානයේ, ජනක sir ගේ පුනරීක්ෂණය පන්ති වල සිසු සිසුවියන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට sir ලබා දුන් අවස්ථාවෙන් මට විශ්ව විද්‍යාලය සඳහා සැළකිය යුතු මුදලක් උපයාගැනීමට හැකිවුණා. පවුලේ මුදල් අමාරුකම් මැද ලැබුණු ඔහුගේ මේ උදව්ව මහඟු ලෙස හැමදාමත් මම මතක් කරනවා. පිළිතුරු පත්‍ර පරික්ෂාව මට අධ්‍යාපනික වශයෙන් ඉමහත් වටිනා අත්දැකීමක්වුණා. ඒ කටයුතු ජනක sir ගේ නිවසට අයත් ගොඩනැගිල්ලක තිබුණු නිසාවෙන්, ඔහුගේ ආදරණීය අත්තම්මා, මව, බිරිඳ වගේම අනිකුත් පවුලේ අයව දැන හැඳිනගන්නට ලැබුණු ඒ කාලපරිච්ඡේදය, මගේ ජීවිතයේ ඉතාම වටිනා මතකයක් විදියට ගොනු වෙනවා.
මෙසේ මා අදවෙනතුරු එකතු කරගත්, අගය කළ, දැනුම සහ අත්දැකීම් තවත් මාවැනිම සුදුසු කම් ලත් පිරිසක් සමඟ එක්ව, ලංකාවේ ඉගෙනුම ලබන සහ ඉගෙන අවසන් සිසු/ සිසුවියන්ට උසස් අධ්‍යාපනය පිලිබඳ උපදෙස් දෙන්නට වැඩසටහනක් "WHAT NEXT" වශයෙන් අප දියත් කර තිබෙනවා. එනම සඳහන් Facebook Group එකට එකතු වීමෙන් මේ ගැන වැඩි තොරතුරු දැනගන්නට ඔයාලට අවස්ථාව තියෙනවා. උසස් අධ්‍යාපනය පිළිබඳ ඔයාලට තියන ගැටළුවලට හැකි පමණින් පිළිතුරු සපයන්නට අපි උත්සාහ කරනවා. ඔයාල හැමෝටම උසස් පෙළ විශිෂ්ට ජයක් පතන මම,
ඉෂානි ඩයස්
July 8th, 2015
PhD Candidate,
Graduate Research/Teaching Assistant
Department of Civil Engineering
Kansas State University
Manhattan, KS
Email: ishani@ksu.edu
Web: https://www.linkedin.com/pub/ishani-dias/41/508/753