Friday, August 14, 2015

සිංහ කොඩියේ සිට ජාතික කොඩිය දක්වා....

ක්‍රි. පූ. 486 දී විජය කුමාරයාගේ ලංකා ආගමනයත් සමඟ සිංහල ජාතියේ ආරම්භය සනිටුහන් වෙනවා. මේ ආරම්භයේ සිටම, සිංහයෙකු සිටින ධජයට, එසේත් නැත්නම් සිංහ කොඩියට, ශ්‍රී ලාංකීය දේශපාලනයේ සුවිශේෂ භූමිකාවක් හිමි වෙනවා. අතීතයේ අපේ රජ වරු මේ සිංහ කොඩියෙන්, නිදහස සහ බලාපොරොත්තුව සංකේතවත් කළ බවයි සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. මෙහි සිංහයාට අමතරව, ඉරකුත් සඳකුත් ඇතුලත්වුනු ධජයක් අපේ වීර දුටුගැමුණු රජතුමා විජාතීන් පැරදූ සටන්වලදී යොදාගෙන තිබෙනවා. මෙය ඉන් මදක් වැඩි දියුණු වී, කහ පැහැති වාටියක් (බෝඩරයක්)  සහ මුළු හතරින් කොත් හතරක් එක්වී, සිංහල ජාතියේ නිදහස සංකේතවත් කරන ධජයක් ලෙස සිංහලයේ අවසන් රජු තෙක් පැවත ඇවිත් තියෙනවා. මේ පුරුද්දට අපි අදත් ජාතික කොඩියට, සිංහ කොඩිය යයි කියනවා විය හැකියි.

සිංහලයා සංකේතවත් වන ලෙස සිංහයෙකුත්, ඉදිරි දකුණු පාදයෙන් කඩුවක් සිරස්ව අල්ලා සිටීමෙන් යුක්තිය සහ සාධාරණයත්, මුළු හතරේ කොත් හතරින්, සතර බ්‍රහ්ම විහරණයත් සනිහිටුහන් වී තිබෙනවා. වටකොට ඇති කහ බෝඩරයෙන්, එදවස රජ වරුන්ව ජාතියේ  විමුක්තියකරා මෙහෙය වු "මහා සිංහ" නැමත්තෙක්ව සංකේත කල බව ලිපියක සඳහන් වෙනවා.

අද අපි භාවිතා කරන ජාතික ධජය වටා ඇති කහ පාට බෝඩරයෙන් සඳහන් වන්නේ මෙය නොවේ. එදවස සිංහ කොඩියේ පසුබිම ගිනි රතු වර්ණයෙන්, සදාකාලික බව සනිටුහන් වූ අතර අද එය "බෞද්ධ නොවන අනිකුත් ආගම්" පිළිඹිඹු කරනවා.

බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් ලංකාව යටත් කරගනිද්දී, මේ අපේ උදාර "සිංහ කොඩිය" බිම හෙළා  ඔවුන්ගේ යූනියන් ජැක් ධජය එසවෙන්නේ 1815, මාර්තු දෙවැනිදා. මෙහිදී අපි කවුරුත් දන්නා පරිදි අදාළ ගිවුසුම් අත්සන් කරනා තෙක් එනම් මාර්තු 10 වෙනිදා තෙක් යළිත් ඒ සිංහ කොඩියම ඔසවා තබන්නට අස්ගිරි මහා නිකායේ, පූජ්‍ය වාරියපොළ සුමංගල හිමියන සමත් වෙනවා.
1948 පෙබරවාරි 4 වෙනිදා, අපිට නිදහස ලැබෙද්දී කුමන ධජයක් ඔසවන්නදැයි තීරණය කරන්නට, අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් විසින් එය මුදලියාර් ඒ. එල්. සින්නලෙබ්බේ නැමති ත්‍රිකුණාමලයෙන් පත්වූ පාර්ලිමේතු මන්ත්‍රීවරයෙකුට පවරා තිබෙනවා.  ඔහුගේ තීරණය පරිදි, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අවසන් වරට භාවිතා කළ ඒ සිංහ ධජයම යළි ඔසවනු ලැබෙනවා.
1948, මාර්තු 6 වෙනිදා අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් විසින් පත්කරන ලද සත් පුද්ගල කමිටුවක් විසින් අද අප භාවිතා කරන ජාතික ධජය නිර්මාණයවී සම්මත වන්නේ 1950, පෙබරවාරි 13 වෙනිදාය. එය මුලින්ම එසවෙන්නේ මාර්තු තුන්වෙනිදා. මුල සිටම සිටි සිංහයා තව දුරටත් ඉතුරු වුණු අතර, මුළු හතරේ කොත් හතර වෙනුවට බෝ කොළ හතරක් යෙදුනි. සමාන ප්‍රමාණවල කහ සහ කොළ වර්ණවල සිරස් තීරු දෙකක් එක්වන්නේ, පිළිවෙලින්, දමිළ සහ මුස්ලිම් වර්ගයන් සංකේතවත් කරන්නටයි. අනුපාත ලෙස ගත්කල මෙය 1:1:5 ලෙස දැක්වේ. සිංහයාගේ වළිගය, කේශර, රැවුල, නාසය සහ ඉදිරි පාදයන් දෙක යන අංග වලට වෙන වෙනමම අනර්ඝ අර්ථයන් ඇති අතර, පාසල් සමාජ අධ්‍යන සහ ඉතිහාස පොත්වල පවා ඇති බැවින් මෙහි සඳහන් නොකරමි.

වානරයෙකු ගෙන් පටන් ගෙන හෝමෝ සේපියන් දක්වා මානවයා නොහොත් මිනිසා පරිණාමනය වූවාක් මෙන්, සංස්කෘතිය නම්වූ බුබුළු තුල තමන්ටම ආවේණික ආකාරවලින් තවදුරටත් අප පරිණාමනය වෙමින් පවතින්නේය යන්න මගේ අදහසයි. මෙසේ අප මුතුන් මිත්තන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද දියුණු කරමින් රැගෙන එද්දී සිංහල ජාතිය මූලය කොට අනෙකුත් ජාතීන්ගේ සාමූහික පැවැත්මද වටිනා බව නොකියා කියන ධජයක් අපහට තිළිණ කොට ඇත. මෙසේ දියුණු වූ කොඩියක් ආපස්සට ගෙනියන්නට තනන, මෙසේ දියුණු වූ ජාතියක්, ආපස්සට ගෙනියන්නට තනන සමහරක් මිනිසුන්, වානරයන් බවටම නොවුනද, ක්‍රොමැග්නන් බවටවත් පෙරලෙන්නට යනවාදැයි මට සිතේ. මා මෙකී කරුණු නොදත් සහෝදර/සහෝදරියන් හා දූ පුතුන් මේ වතගොතින් දැනුවත් කරන්නට, සිංහලයෙකු ලෙස ඉපදුන අප සැවොම, අපගේ උදාර ජාතියට ණයගැති වෙමු.

(හෝරාවකටත් අඩු කාලයක් තුල අන්තර්ජාලයෙන් සොයාගන්නා කරුණු සහ පාසල් කාලයේ  මතකයන් ඇසුරින් මෙම ලිපිය මා ලියන ලද අතර, දින හෝ නම් පිලිබඳ වැරදි ඇතොත් සමාවෙන ලෙස ඉල්ලමි. ඔබේ අදහස් අනුව සොයාබලා නිවැරදි කිරීමටද නොපැකිළෙමි.)

මම,
ඉෂානි ඩයස්

Main Reference: http://www.lankalibrary.com/pro/flag2.htm

No comments:

Post a Comment