Wednesday, November 1, 2017

අහස තරම් ආදරේ

අහස තරම්, පොළව තරම්, විසල් ඇත්ද ආදරේ
නැගෙන බිඳෙන රැලි තරම්වූ මගේ හිතේ ආදරේ
උපමා සියයක් කිව හැකි හදේ ගැහෙන ආදරේ
ඔබේ හිතට ඒත් මදිලු අනේ මගේ ආදරේ

පිය නොගසා දෑස් අයා ඔබෙරුව නෙත පිරෙව්වේ
ඒ බැල්මට ඔච්චම් කොට  ඔබ සැමදා  හිනැහුණේ
විඩාවටයි නෙත් පියුවේ, ඇහැරී ඔබමයි සෙව්වේ,
දුටුව දෙයින් සිත සැලුණා පෙම්බර කුමරුණේ
ඒ විගහට ඔබේ දෙනෙත් ඈ ළඟ රැඳුනේ...

වසර දෙවසරක් එකටම අත් පටළා අපි ආවේ..
අපිට අපෙන් තොර ලොවක්ම නැහැමයි සිතුණේ 
විසිරුණු කෙහෙරැල් බඳින්න මම අත් මිදුවේ...
දුටුව දෙයින් සිත සැලුණා පෙම්බර කුමරුණේ
ඒ විගහට ඔබේ දෑතෙ තවකෙකු වෙලුණේ

අහසෙ තියන තරු ගානට, වෙරළේ වැලි කට ගානට
නැගෙන බිඳෙන රැලි ගානට, දහසක් උපමා ගානට,
සමකරන්න දැන් ඇත්තේ නෙතින් වැටෙන කඳුළැලි කැට
ඔබේ හිතට මදි උනාලු මගේ ආදරේ

Thursday, April 28, 2016

සිත බිහිරි වී ගොහින් හැංගිලා

හවසක දවසක්, ඔහේ පිය නගද්දී 
ඔබෙ දෑත මතකදෝ පැටළුනා 
ඇස් වලින් කතා කළ නිහඬවම ගෙවීගිය 
වසර දෙවසර එසේ නිම උනා ...
අපෙ දෑත් උණුහුමට හුරුඋනා..
ඉඩ කඩම් මිල මුදල් රජ පැලැන්තිය ඔබේ 
දෙගුරුන්ට අනේ අද මුල් උනා
අද හෙටම නැකතකට ඔය අතේ පැටළෙන්න 
දැරිවියක් සත් සිහින දකින්නා..... 
ඇය නොවෙයි ඔබේ හිත හොයන්නේ මාව බව 
දැනෙන්ට කාලයක් ගතවෙලා,,
හතිදමා දුවගෙනම, ඔබ ආයේ ඇවිල්ලා 
වියලිලා මගේ නෙත් කඳුළු නෑ 

සිතද බිහිරිව ගොහින් හැංගිලා.. 

Saturday, August 29, 2015

Bonnie Raitt - I Can't Make You Love Me



'Cause I can't make you love me if you don't
You can't make your heart feel something it won't

This song goes out to those, who have loved someone for real, and had to give it up. Understanding that you can't make someone love you, if they don't, is very important. I know it's hurtful. Our lives are very interesting in many ways. When someone is head over heals for you, you are falling for someone else, who doesn't even care. If you can't love someone in return, please don't patronize; don't hurt them either. The in-between situation is really really difficult to act and I know cuz I've been there. Sadly, for some people "The one" is not he person they're married to. It's almost IMPOSSIBLE to stop loving someone. If you have ever stopped loving someone, my guess is, it was just an infatuation; Don't name it 'love'.

Friday, August 14, 2015

සිංහ කොඩියේ සිට ජාතික කොඩිය දක්වා....

ක්‍රි. පූ. 486 දී විජය කුමාරයාගේ ලංකා ආගමනයත් සමඟ සිංහල ජාතියේ ආරම්භය සනිටුහන් වෙනවා. මේ ආරම්භයේ සිටම, සිංහයෙකු සිටින ධජයට, එසේත් නැත්නම් සිංහ කොඩියට, ශ්‍රී ලාංකීය දේශපාලනයේ සුවිශේෂ භූමිකාවක් හිමි වෙනවා. අතීතයේ අපේ රජ වරු මේ සිංහ කොඩියෙන්, නිදහස සහ බලාපොරොත්තුව සංකේතවත් කළ බවයි සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. මෙහි සිංහයාට අමතරව, ඉරකුත් සඳකුත් ඇතුලත්වුනු ධජයක් අපේ වීර දුටුගැමුණු රජතුමා විජාතීන් පැරදූ සටන්වලදී යොදාගෙන තිබෙනවා. මෙය ඉන් මදක් වැඩි දියුණු වී, කහ පැහැති වාටියක් (බෝඩරයක්)  සහ මුළු හතරින් කොත් හතරක් එක්වී, සිංහල ජාතියේ නිදහස සංකේතවත් කරන ධජයක් ලෙස සිංහලයේ අවසන් රජු තෙක් පැවත ඇවිත් තියෙනවා. මේ පුරුද්දට අපි අදත් ජාතික කොඩියට, සිංහ කොඩිය යයි කියනවා විය හැකියි.

සිංහලයා සංකේතවත් වන ලෙස සිංහයෙකුත්, ඉදිරි දකුණු පාදයෙන් කඩුවක් සිරස්ව අල්ලා සිටීමෙන් යුක්තිය සහ සාධාරණයත්, මුළු හතරේ කොත් හතරින්, සතර බ්‍රහ්ම විහරණයත් සනිහිටුහන් වී තිබෙනවා. වටකොට ඇති කහ බෝඩරයෙන්, එදවස රජ වරුන්ව ජාතියේ  විමුක්තියකරා මෙහෙය වු "මහා සිංහ" නැමත්තෙක්ව සංකේත කල බව ලිපියක සඳහන් වෙනවා.

අද අපි භාවිතා කරන ජාතික ධජය වටා ඇති කහ පාට බෝඩරයෙන් සඳහන් වන්නේ මෙය නොවේ. එදවස සිංහ කොඩියේ පසුබිම ගිනි රතු වර්ණයෙන්, සදාකාලික බව සනිටුහන් වූ අතර අද එය "බෞද්ධ නොවන අනිකුත් ආගම්" පිළිඹිඹු කරනවා.

බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් ලංකාව යටත් කරගනිද්දී, මේ අපේ උදාර "සිංහ කොඩිය" බිම හෙළා  ඔවුන්ගේ යූනියන් ජැක් ධජය එසවෙන්නේ 1815, මාර්තු දෙවැනිදා. මෙහිදී අපි කවුරුත් දන්නා පරිදි අදාළ ගිවුසුම් අත්සන් කරනා තෙක් එනම් මාර්තු 10 වෙනිදා තෙක් යළිත් ඒ සිංහ කොඩියම ඔසවා තබන්නට අස්ගිරි මහා නිකායේ, පූජ්‍ය වාරියපොළ සුමංගල හිමියන සමත් වෙනවා.
1948 පෙබරවාරි 4 වෙනිදා, අපිට නිදහස ලැබෙද්දී කුමන ධජයක් ඔසවන්නදැයි තීරණය කරන්නට, අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් විසින් එය මුදලියාර් ඒ. එල්. සින්නලෙබ්බේ නැමති ත්‍රිකුණාමලයෙන් පත්වූ පාර්ලිමේතු මන්ත්‍රීවරයෙකුට පවරා තිබෙනවා.  ඔහුගේ තීරණය පරිදි, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අවසන් වරට භාවිතා කළ ඒ සිංහ ධජයම යළි ඔසවනු ලැබෙනවා.
1948, මාර්තු 6 වෙනිදා අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් විසින් පත්කරන ලද සත් පුද්ගල කමිටුවක් විසින් අද අප භාවිතා කරන ජාතික ධජය නිර්මාණයවී සම්මත වන්නේ 1950, පෙබරවාරි 13 වෙනිදාය. එය මුලින්ම එසවෙන්නේ මාර්තු තුන්වෙනිදා. මුල සිටම සිටි සිංහයා තව දුරටත් ඉතුරු වුණු අතර, මුළු හතරේ කොත් හතර වෙනුවට බෝ කොළ හතරක් යෙදුනි. සමාන ප්‍රමාණවල කහ සහ කොළ වර්ණවල සිරස් තීරු දෙකක් එක්වන්නේ, පිළිවෙලින්, දමිළ සහ මුස්ලිම් වර්ගයන් සංකේතවත් කරන්නටයි. අනුපාත ලෙස ගත්කල මෙය 1:1:5 ලෙස දැක්වේ. සිංහයාගේ වළිගය, කේශර, රැවුල, නාසය සහ ඉදිරි පාදයන් දෙක යන අංග වලට වෙන වෙනමම අනර්ඝ අර්ථයන් ඇති අතර, පාසල් සමාජ අධ්‍යන සහ ඉතිහාස පොත්වල පවා ඇති බැවින් මෙහි සඳහන් නොකරමි.

වානරයෙකු ගෙන් පටන් ගෙන හෝමෝ සේපියන් දක්වා මානවයා නොහොත් මිනිසා පරිණාමනය වූවාක් මෙන්, සංස්කෘතිය නම්වූ බුබුළු තුල තමන්ටම ආවේණික ආකාරවලින් තවදුරටත් අප පරිණාමනය වෙමින් පවතින්නේය යන්න මගේ අදහසයි. මෙසේ අප මුතුන් මිත්තන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික කොඩියද දියුණු කරමින් රැගෙන එද්දී සිංහල ජාතිය මූලය කොට අනෙකුත් ජාතීන්ගේ සාමූහික පැවැත්මද වටිනා බව නොකියා කියන ධජයක් අපහට තිළිණ කොට ඇත. මෙසේ දියුණු වූ කොඩියක් ආපස්සට ගෙනියන්නට තනන, මෙසේ දියුණු වූ ජාතියක්, ආපස්සට ගෙනියන්නට තනන සමහරක් මිනිසුන්, වානරයන් බවටම නොවුනද, ක්‍රොමැග්නන් බවටවත් පෙරලෙන්නට යනවාදැයි මට සිතේ. මා මෙකී කරුණු නොදත් සහෝදර/සහෝදරියන් හා දූ පුතුන් මේ වතගොතින් දැනුවත් කරන්නට, සිංහලයෙකු ලෙස ඉපදුන අප සැවොම, අපගේ උදාර ජාතියට ණයගැති වෙමු.

(හෝරාවකටත් අඩු කාලයක් තුල අන්තර්ජාලයෙන් සොයාගන්නා කරුණු සහ පාසල් කාලයේ  මතකයන් ඇසුරින් මෙම ලිපිය මා ලියන ලද අතර, දින හෝ නම් පිලිබඳ වැරදි ඇතොත් සමාවෙන ලෙස ඉල්ලමි. ඔබේ අදහස් අනුව සොයාබලා නිවැරදි කිරීමටද නොපැකිළෙමි.)

මම,
ඉෂානි ඩයස්

Main Reference: http://www.lankalibrary.com/pro/flag2.htm

Wednesday, August 12, 2015

සබුද්ධිකත්වය

පාර්ලිමෙතුවට යැවිය යුත්තේ, සබුද්ධිකයන්ය කියා දැන් බහුතරය පිළිගත් කරුණක්. නමුත්, ජනමාධ්‍ය හැසිරිය යුත්තේද සබුද්ධිකයින් වියයුතුයි. අද මූණුපොතත් රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා, සහ පුවත් පත් සමඟ හරි හරියට සටනක යෙදෙනවා. පින්තූරයක් උඩින්, සිංහල ලොකු අකුරු ටිකක් edit කරගන්න පාසල් ළමයෙකුටත් පුළුවන්. ඒත් ඒවා නැවත නැවතත්, තමන්ගේ මූණු පොත්වල share කරන, ඉංජිනේරු වරු, දොස්තරවරු, නීතිඥයින් සහ මෙකී නොකී උපාධි නොලැබුවත්, සමාජයේ උසස් තැන් වල පසු වෙන, උගත් බුද්ධිමත් යයි මා සිතා සිටි සමහරෙක්ගේ එකී උගත් කම් ගැන මට දැන් සැක පහළ වෙනවා. ඔවුන් තමන් ගේ මූණු පොත් බිත්තිය, ඡන්ද පෝස්ටර් එකපිට එක ඇලවූ තාප්පයක් බවට පත් කරගෙන අවසන්. මෝඩ තර්ක share කරන සියලුම දෙනා දැනට මම unfollow කර ඇතත්, ටිකක් හෝ වටිනා දෙයක් share කරන හැම පක්ෂයකම අනුගාමිකයින් අතලොස්සක් සහ රුපවාහිනී නාලිකා සහ පුවත් පත් කිහිපයක official මූණු පොත් පිටු තවමත් ඉතුරුවෙලා. "උඹ දහදෙනෙක් මැරුවානම් මම එක්කෙනෙක් මැරුවාම මොකාදැ"යි අසන පිරිස් මෙන්ම "එයාගේ මිනීමරුවා සොයනවා නම් මෙයාගේ මිනීමරුවාද සොයන්නැ"යි කියන අයද ඇත. ඒ සෑම පිරිසටම නොපෙනෙන සත්‍ය වන්නේ, තවත් දේශපාලන පක්ෂයකට ලොකු අකුරින් කෑගසා බනිද්දී, තමාගේ යැයි කියාගන්නා පාක්ෂිකයින් කරනා වැරදිවලට අවසර දෙමින් සහ අනුමත කරමින් ඔවුන් අත්සන් තබා අවසන් බවයි.  ඔබ නිල් නම් ඕබේ නිල් ලොක්කන්ට වැරදි කරන්නට දෙන්න එපා; ඔබ කොළ නම් ඔබේ කොළ ලොක්කන්ට වැරදි කරන්නට දෙන්න එපා. අනිත් පාටවල් ගැනත් එසේමයි. මහා සෙනඟක් ඉස්සරහට ගිහින් විනාඩි 5ක් කතා කරන්නට බැරි ඔබ, එසේ කතා කරන මිනිසෙක්ට වරදින වචන ගණන් කරන්නට එපා. පාසල් ගණිත පොතට, වාණිජ පොතට අදටත් වෛර කරන ඔබ, ඒ පොත් සහ ඊටත් ඔබ්බට බොහෝ දේ ජයගත් උගතුන්ට, හිටගන්න නොදන්නවායයි හිනාවෙන්නට එපා. හොරෙන් download කරගත් Windows OS එකක් උඩ, හොරෙන් download කරගත් Photoshop හෝ එවැනි මෘදුකාංග භාවිතා කරගෙනම, එයා හොරාය මෙයා හොරාය කියමින්, පොස්ටර් ගහන්නටන්..... එපා !

Wednesday, July 8, 2015

මගේ ගමන

මගේ නම ඉෂානි ඩයස්. මම දැනට කැන්සාස් ස්ටේට් විශ්වවිද්‍යාලයේ (Kansas State University, USA) සිවිල් ඉංජිනේරු අංශයෙන්, ප්‍රවාහන ඉංජිනේරු අංශයට විශේෂිතව ආචාර්ය උපාධිය (Ph.D.) හදාරනවා. උපාධිය අවසානයට මාස කීපයක් තියෙද්දී, ආපු ගමන් මග ගැන මොහොතක් හැරිල බලලා මෙහෙම ලියන්නට හිතුණා. සාමාන්‍ය පෙළ (GCE O/L) විශිෂ්ට සම්මාන (D) 10ක් අරගෙන ගණිත අංශයෙන් උසස් පෙළට (GCE A/L) පිවිසුනේ, ගණිතයට ඇති ආසාව වගේම මට ගණිතය පුළුවන්ය කියන හැඟිම නිසා. ඒ සිතුවිල්ලේ හොඳ හා නරක ප්‍රතිඵල පසුව ලියලා ඇති. මම ඉගෙනගත් සුජාතා බාලිකා විද්‍යාලයේ ඒ ඒ විෂයන් ඉගැන්වූ ගුරු තුමන්/තුමියන්ගේ හැකියාවන් සහ පරිශ්‍රමයන් අදටත් අගයන ගමන්ම, අතිරේක පංති වලින් ලැබූ දැනුම සහ හුරුව ගැන කතා නොකර බැහැ. ව්‍යවහාරික ගණිතය මට ඉගැන්වූ ජනක අබේවර්ධන ගුරුතුමන් ගැන, එහෙමත් නැත්නම් අපි කාටත් හුරු ඇමතුමෙන්, "ජනක sir" ගැන මම අද ලියන්නට හිතුවා. ජනක sir කියන්නේ හුදෙක් අතිරේක පංති ගුරුවරයෙක් නොවෙන බව ඔහුව දන්නා කවුරුත් එකඟවන කරුණක්. ඔහුගේ උපදෙස් ව්‍යවහාරික ගණිතයට පමණක් නොව, අනිකුත් විෂයන් හැදෑරීමටත්, සාමාන්‍ය ජීවිතයටත් ලොකු උදව්වක් වෙනවා. අලුත් ටියුට් එකක් අතට ලැබුණු ගමන්ම එහි තිබෙන ගණිත ගැටළු විසඳීමට කලින්, අන්තිම පිටුවට පෙරළලා Sir ගේ නිසඳස මුලින්ම කියෙව්වේ ඒ නිසාවෙන්ම වෙන්නට ඇති.

නිදන කාමරයේ බිත්ති වල වගේම නාන කාමරයේ බිත්ති වල පවා ගණිත සමීකරණ ලියල කට පාඩම් කරගත්තා වගේම, sir ගේ නිසඳස් ලියන්නට වෙනම බිත්තියක් අපේ ගෙදර තිබුණා. මෙය මගේ පාසල් මිතුරියන් වගේම, නිවසට ආ විශ්ව විද්‍යාල මිතුරු/ මිතුරියන් පවා දන්නා කරුණක්. මෙහෙම බිත්ති වල කුරුටු ගාද්දී මුවඟ හිනාවක් එක්ක නිහඬ උන අම්මාවත් අද අපි අතරේ නැති, මගේ ආදරණීය තාත්තවත් ණයගැති සිතින් මතක් කරන්න කැමතියි. නිතර ඇහෙන දකින දේට අපේ ජීවිත වෙනස් කරන්නට තරම් හැකියාවක් ඇති බව, පුංචි කාලේ ඉඳල දන්නා ජාතක කතා වලින් ඔබ්බට, මම මෑතකදී ඉගෙනගත් නායකත්ව අඩිතාලම් (Foundations of Leadership) විෂයේදී පවා ඉගෙනගත්තා. ඒ නිසා ජනක sir පංතියේදි උගන්වන උපදෙස් නොපැකිළ විශ්වාස කරන්න කියල මට ඔයාලට කියන්න පුළුවන්. මතක නැති වීමේ සම්භාවිතාව වැඩි සමීකරණ මෙහෙම නිතර ඇස ගැටෙන තැන් වල ලිව්වා වගේම, මට අපහසු ගණිත ක්‍රම, නිතර නිතර භාවිතා කිරීමෙන් සහ වැඩි ගැටළු සංඛ්‍යාවක් විසඳීමෙන් මගේ හැකියාවන් මම දියුණු කරගත්තා. දවසකට භාවිතා කරන කටු වැඩ කොළ ප්‍රමාණය වැඩි කරගන්න කියල ජනක sir උගන්වපු පාඩම, කල් ඉකුත් නොවෙන උපදෙසක් කියල මම හිතනවා.

දැක්ම සඟරාවේ ලිපි ලියන බොහොමයක් නංගිලා මල්ලිලා වගේ මම A-3ක් ගත් කෙනෙක් වත් දිස්ත්‍රික් පළමුවැන්නා වුන කෙනෙක් වත් නෙවෙයි. පළමුවර (2003) B-2ක් සහ C එකක් ලබා කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධි පාඨමාලාවට සුදුසු කම් ලැබුණු අතර එය ප්‍රතික්ෂේප කර දෙවැනි වරටද (2004) උසස් පෙළට පෙනීසිටීමෙන් පසු, A-2ක් සහ B-1ක් ලබා මොරටුව ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබන්නට මා සමත්වුණා. ගණිතය පුළුවන් යයි සිතා ඒ සඳහා අඩුවෙන් කාලය වැය කිරීමේ නරක ප්‍රතිඵලයක් විදියට දෙවරදීම ගණිතයට B සාමාර්ථයක් පමණයි මට ලැබුණේ. ඒනිසා මම හිතන්නේ, උසස් පෙළ හැදෑරීමේදී සමභරව කාලය වෙන් කරගැනීම වැදගත් කියලා. මොරටුව ඉංජිනේරු උපාධිය (B.Sc. Hons. in Engineering) අවසන් කිරීමෙන් පසු තවදුරටත් එහි රැඳී, 2012 වර්ෂයේදී මම සිවිල් ඉන්ජිනේරු අංශයෙන් පශ්චාත් උපාධියක් (M.Sc. in Civil Engineering) අවසන් කළා. ඉන් අනතුරුව, ශ්‍රීමත් කොතළාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වර්ශාර්ධයක් භාහිර කථිකාචාර්යවරියක ලෙස විෂයන් තුනක් ඉගැන්වීමට ලැබුණා. සිවිල් ඉංජිනේරු සහ සැපයුම් කළමණාකරන (Logistic Management) ශිෂ්‍ය භටයන්ට (cadets) මා එහිදී ඉගැන්වීම් කළා. ඉන් පසුව ආචාර්ය උපාධිය හැදෑරීමට අමෙරිකාවට පැමිණි මට මෙම වසර අවසානයේ ඉගෙනුම් කටයුතු අවසන් කිරීමට බොහෝ දුරට හැකිවනු ඇති. සිසු/ සිසුවියන් සිය ගණනක් සිටින පංතියක පවා, එක එක කෙනා ගැන ජනක sir දැක්වූ අවදානය, කථිකාචාර්යවරියක් වශයෙන් සේවය කරද්දී මම මට ආදේශ කරගන්නට උත්සාහ කළා. එසේ තනි තනි වශයෙන් ලැබෙන අවදානය, ඔවුන්ගේ සාර්ථකත්වයට වාගේම, ඉගෙනීමට ඇති උනන්දුවට පිබිදීමක් ඇති කරන බව මම අත්දැකීමෙන් දන්නා දෙයක්.

මිල මුදලින් පොහොසත් නොවුන පවුලක උපන් මා, දෙවන වරටත් උසස් පෙළ හැදෑරීම මගේ දෙමව්පියන්ට වියදම් අතින් ලෙහෙසි කටයුත්තක් උනේ නැහැ. මාත් මගේ බාල සොහොයුරියත් දෙදෙනාට අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යාමට ඔවුන් සතු සියලු ඉතුරුම් දිය කරමිනුයි තිබුනේ. මාත් නංගීත් එහි ප්‍රයෝජන හැකි උපරිමයෙන් ගත් බවත් කියන්නට ඕනේ. නංගී, එරන්දි ඩයස්, මෙම වසර මුළදී රජරට විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික විද්‍යා උපාධිය සාර්ථකව අවසන් කළා. දෙවැනිවර උසස් පෙළ අවසානයේ, ජනක sir ගේ පුනරීක්ෂණය පන්ති වල සිසු සිසුවියන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට sir ලබා දුන් අවස්ථාවෙන් මට විශ්ව විද්‍යාලය සඳහා සැළකිය යුතු මුදලක් උපයාගැනීමට හැකිවුණා. පවුලේ මුදල් අමාරුකම් මැද ලැබුණු ඔහුගේ මේ උදව්ව මහඟු ලෙස හැමදාමත් මම මතක් කරනවා. පිළිතුරු පත්‍ර පරික්ෂාව මට අධ්‍යාපනික වශයෙන් ඉමහත් වටිනා අත්දැකීමක්වුණා. ඒ කටයුතු ජනක sir ගේ නිවසට අයත් ගොඩනැගිල්ලක තිබුණු නිසාවෙන්, ඔහුගේ ආදරණීය අත්තම්මා, මව, බිරිඳ වගේම අනිකුත් පවුලේ අයව දැන හැඳිනගන්නට ලැබුණු ඒ කාලපරිච්ඡේදය, මගේ ජීවිතයේ ඉතාම වටිනා මතකයක් විදියට ගොනු වෙනවා.

මෙසේ මා අදවෙනතුරු එකතු කරගත්, අගය කළ, දැනුම සහ අත්දැකීම් තවත් මාවැනිම සුදුසු කම් ලත් පිරිසක් සමඟ එක්ව, ලංකාවේ ඉගෙනුම ලබන සහ ඉගෙන අවසන් සිසු/ සිසුවියන්ට උසස් අධ්‍යාපනය පිලිබඳ උපදෙස් දෙන්නට වැඩසටහනක් "WHAT NEXT" වශයෙන් අප දියත් කර තිබෙනවා. එනම සඳහන් Facebook Group එකට එකතු වීමෙන් මේ ගැන වැඩි තොරතුරු දැනගන්නට ඔයාලට අවස්ථාව තියෙනවා. උසස් අධ්‍යාපනය පිළිබඳ ඔයාලට තියන ගැටළුවලට හැකි පමණින් පිළිතුරු සපයන්නට අපි උත්සාහ කරනවා. ඔයාල හැමෝටම උසස් පෙළ විශිෂ්ට ජයක් පතන මම,

ඉෂානි ඩයස්
July 8th, 2015

PhD Candidate,
Graduate Research/Teaching Assistant
Department of Civil Engineering
Kansas State University
Manhattan, KS

Email: ishani@ksu.edu
Web: https://www.linkedin.com/pub/ishani-dias/41/508/753

Friday, February 27, 2015

අරුමය II

ඊයේ දුටුව ලොව නොව 
අද මගේ දෙනෙතින් දකින්නේ 
ඔබේ නෙතින් බලමි මදෙසම 
සිනහවක් එයි දෙතොලට 
ඊයේ සිටිය මා නොව 
ඔබේ දෙඇසින් මා දකින්නේ 
නෙත් කඳුළු සින්දන..
හද ගැස්ම නවතන.. 
අරුමය,
ආදරයද...