පණ්ඩිත් අමරදේවයන් ගායන කරන "සෙවනැළි මියයන හැන්දෑවේ" කියන සුන්දර ගීතය මම අද උදෑසන අහගෙන හිටියා. මේ ගීතයට පේළියෙන් පේළිය එකතු වෙද්දී මාව නිසොල්මන් වුනත්, මම ඇඬුම් තදකරන් උන්නා. එත් අවසාන ගීත ඛණ්ඩය ඇහෙද්දී මම ඒ ප්‍රයත්නයෙන් අසාර්ථක වුනා. ගීතය පටන් ගැනුනේ මෙහෙම:
සෙවනැළි මියයන හැන්දෑවේ
පිළ උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ
සීපද මුමුණන්නේ .. ඒ හඬ අසෙනවදෝ
නෙතු යුග තෙත් වෙන්නේ.. ඒ දුක දැනෙනවදෝ..
තාත්තා කෙනෙක්ගේ ආදරේ හරිම නිශ්ශබ්දයි .. ඒ වගේම හරිම ගැඹුරුයි.. මාත් තාත්තත් අතරේ ලොකුවට කතාබහක් වෙලා නැහැ. මම තාත්තට ගොඩක් ගරු කළා ඒ නිසාම වෙන්න ඇති මම දුරින් ඉඳන් තාත්තාව අගය කලේ. මම ඔයාට ආදරෙයි තාත්තේ කියල වචන ටික අමුණලා තාත්ත ඉස්සරහ කියන්න මට ධෛර්යයක් ලැබිල නැහැ. එත් ගෙදරින් එලියට බැහැල යන්න කලින්, තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳිද්දී මම ඒ වචන ටික හිතෙන කියල ඇති ඕනෑ තරම්.
තාත්ත එක්ක ගෙවපු අවසන් දෙතුන් මාසයේ, මම සරසවියේ ඉඳල හවසට ගෙදර එද්දී, ගේට්ටුව පේන තැනකින් පුටුවක් තියාගෙන සාලේ වාඩි වෙලා මම එනකන් බලන් හිටිය තාත්තව දැක්කම, දවසෙම මහන්සිය අතුරුදහන් වෙනවා. මාතර ගෙදර ඉඳල මම හිටිය කොළඹ ගෙදරට තාත්තා එන්න අකමැතිවෙයි කියල මම හිතුවත්, මම ඉන්න තැනට එන්න කාටත් වඩා උවමනාව තිබුනේ තාත්තට බව මට අම්ම කියද්දී මම නිහඬව ආඩම්බර උණා. දරුවන්ට දුරින් ඉඳීම තාත්තලාගේ නෙත් තෙත් කරන බව, මේ ගීයෙන් කියැවෙනවා වගේම එදා මට වැටහුණා.
මගෙ හිරු මියෙන වෙලේ .. ඔබෙ හිරු උපදිනවා
නෙතු පියවෙන්න කලින්, එනවද මගෙ පුතුනේ...
තාත්ත හදිසියේම අවසන් හුස්ම හෙලද්දී මම හිටියෙ තාත්තට සැතපුම් දහස් ගණනක් දුරින්. තාත්තගේ මෘත දේහය ළඟ ඉඳන් කෑගහල අඩද්දී මම අම්මගෙන් අහපු එක ප්‍රශ්නයක් තමයි, "තාත්තට මම ආදරේ බව තාත්ත දන්නවද අම්මේ..." කියල.. ඒ රත්තරන් මනුස්සයාගේ නෙත් පියවෙන්න කලින් මට එන්න බැරි උනා .. මෙන්න මේ සිතුවිල්ල, මම මැරෙනතුරු, මාව අඩවාවි.. මාව නින්දෙන් ඇහැරවාවී ... මහා සෙනඟ මැද පවා මගෙ නෙත් කඳුළු පුරවාවී......
No comments:
Post a Comment